මේ රට මගේ රට මව්පියෝ උපන් රට

මේ රට මගේ රට බුදුහිමි වැඩිය රට

මේ රට මගේ රට විරුවන් දිනූ රට

මේ රට මගේ රට ලෝකෙන් උතුම් රට


නව සිය හැට පහේ අවුරුදු දා ඉපදී

දෙසොහොයුරන් සමගින් කෙලිදොලෙන් හැදී

අහිමිව ගියත් පිය සෙනෙහස මට දුරදී

අම්මා සැනසුවේ අප දුක් ගෙන නොමදී


නව සිය අසූ හයෙ නව වන මස දහය

යුධ පුහුණුවක් ලැබුවේ මාදම් පේය

වැඩ්දුර පුහුණු විශේෂ කාර්ය බල කාය

විසිරී ගියේ ගයමින් අපි රණ ගීය


මිනිසුන් මරා අපෙ මව් බිම දෙකඩ කොට

ඊලම් හදන්නට සැරසුනු කොටි යනට

රහසින් ගිහින් උන්ගේ ගෙල සිඳ ලන්ට

පුහුණුව ලැබුවෙ අපි මව්බිම රැක ගන්ට


අනූ එකේ ජුනි මස විසි අට වෙනිදා

උපදෙස් ලැබුනෙ අපෙ කණ්ඩායම කැන්දා

පැන යන කොටින් නවතන්නට වැට බන්දා

බපල් රථය සමගින් කොටි ලුහු බැන්දා


ලාහුගලට කොටියන් ඇවදින් ඉඳලා

පොතුවිල් බසය නවතා මිනිසුන් මරලා

කොටියාගලින් උන් පසු පස ලුහු බැඳලා

මම නැවතුනේ රෝහලෙ කකුලක් කැඩිලා


කැඩිලා තිබුන කකුලට ලොකු දොස්තරලා

දමලා ලෝහ නට් පටි ඇණ තද කරලා

හදලා තිබුන කකුලත් ගෙන මම පෙරලා

උතුරට ගියේ මම මගෙ හිත දැඩි කරලා


අනු නවයෙ සමරන කළු කොටි දිනට

උයිලන්කුළම සිට නානට්ටන් වලට

යන මග තිබුන මර උගුලක් ට්‍රක් එකට

අසුවී උඩ ගිහින් මම වැටිලා බිමට


උකුලෙන් කැඩී වෙන් වුන වම් කකුල මගේ

හදලා තිබුන ආයෙත් පෙර තිබුන වගේ

වම් ඇස පෙනුම අහිමියි සදහටම මගේ

සතුටක් දැනේ එනමුත් හදවතට මගේ


යුධ බිම දුක් ගැහැට මවගෙන් වහ ගන්න

ඇය සැරසුවා පෝයට ගොස් ගන්න

දියණිය සමග කඳුලින් හිනැහී උන්න

මේ මගෙ දිරිය මට නිතරම දිරි දුන්න


ප්‍රදීප් නාමයෙන් දීපයෙ ප්‍රදී පය

පතුරා සුවඳ කරවා හුද කලා වය

පරිගණකයෙන් ලෝකයෙ ඔබ දිනූ දෙය

අභිමානයෙන් අප ඔසවා තැබී මය


රණවිරු එකමුතුව ගොඩ නගමින් දැය

පරිගණකයෙන් ලෝකයෙ සැරි සරන්නට

පුහුණුව ලබා දුන් විරුවා නෙනි ඔබට

අපි ණය ගැතියි ජීවය ඇති තුරාවට